Friday, March 29, 2013

රාවණා රජුගේ දඬුමොණරය ගොඩබෑවේ උස්සන් ගොඩද?

| 0 comments

රාවණා රජුගේ දඬුමොණරය ගොඩබෑවේ උස්සන් ගොඩද?

උස්සන්ගොඩ තැනිතලාව


          ”මංගර දෙවියන්ගේ වාහනය වුණු කුළු මීමාගේ නම ‘කදිර’- දවසක් කදිර උස්සන්ගොඩ තිබෙන වළේ නාන්න බැහැල තියෙනවා. ඒ වෙලාවෙ මංගර දෙවියො කිව්වලූ කදිර ගොඩ කදිර ගොඩ කියලා. ඒ කියන්නේ කදිරට ගොඩ එන්න කියලා. අද ‘කදිරගොඩ’ කියලා නම හැදිල තියෙන්නේ එම මංගර දෙයියො නිසා.-”
උල්කාපාතය ලෙස සැලකෙන පාෂණය

        උස්සන්ගොඩ රතු පස් භූමියේ ආවාටයක් වැනි වළක් පිළිබද ජනප‍්‍රවාදයක එන කතාවකි. අතීතයේ උල්කාපාතයක් පතිත වූ ස්ථානයක් ලෙසද ඇතැමෙක් විශ්වාස කරති.

         උස්සන්ගොඩ වනාහි කොළඹ - හම්බන්තොට මාර්ගයේ අමිබලන්තොටට සමීපව පිහිටි කළමැටිය අභය භූමියේ හෙක්ටයාර 111 ක් ක පමණ ප‍්‍රදේශයක ව්‍යාප්තව ඇති ශුෂ්ක පරිසර පද්ධතියක පිහිටි පුරා විද්‍යාත්මක උරුමයක් ලෙස නම් කොට ඇති ප‍්‍රදේශයකි.

         කළමැටිය අභය භූමියෙහි ඉහළින් පිහිටා ඇති ප‍්‍රදේශය අතීතයේ සිටම හඳුන්වා ඇත්තේ උස්සන්ගොඩ නමින්ය.
සොබා දහමේ අපූර්ව නිර්මාණයක් වන උස්සන්ගොඩ අද ජනප‍්‍රවාද රැසකටද උරුමකම් කියන දිවයිනේ පිහිටි සුවිශේෂී ම පොළෝ තලයකින් සමන්විත පාරිසරික මෙන්ම පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු දුර්ලභ උරුමයකි.

     උස්සන්ගොඩ පිළිබඳ ජනප‍්‍රවාද, පුරාවිද්‍යාත්මක නටඹුන් මෙන්ම සාහිත්‍යගත තොරතුරු ද රැසක් වෙයි. ඉන් සමහරක් මෙම භූමියේ පවතින සුවිශේෂී ලක්‍ෂණ හේතුවෙන් බිහි වී ඇත. නමුත් ඇතැම් ජනප‍්‍රවාද පවසන්නේ අතීතයේ සිදු වූ වෙනත් සිදුවීම් නිසා මෙම භූමිය සැකසුණු බවකි.

        අතීතයේ දී රාවණ රජුගේ ”දඬු මොණරය” නැමති ගුවන් යානාව ගොඩ බට බිම උස්සන්ගොඩ යැයි තවත් කතාවක එයි. ඉන්දියාවේ රාම කුමරුගේ බිරිය සීතා දේවිය පැහැර ගෙන පැමිණි ”දඬු මොණරය” එලෙස ගොඩ බස්සවා ඇතැයි ප‍්‍රදේශවාසීන් අතර ජනප‍්‍රවාදයක් පවතියි. එයට අනුව මෙම භූමිය නිර්මාණය වී ඇත්තේ එම අනුහසිනි.

       කහ කුරුලූ සංදේශයේ මෙන්ම බලි තොවිල්, මංගර හෑල්ල, මහසොහොන් සමයම, දෙවොල්මඩු ශාන්ති කර්මයේ ද උස්සන්ගොඩ පිළිබඳ සඳහන් ව ඇත. එකල සිටම අවධානයට ලක් වූ ප‍්‍රදේශයක් ලෙස උස්සන්ගොඩ හඳුනාගත හැකිය.

       එකල උස්සන්ගොඩ ඉතා අනුහස් සහිත බිමකි. ඊට ඇතුළු වන අයට උණ රෝගය වැළඳුණු බව ප‍්‍රදේශවාසීන්ට අදත් මතකය. එම නිසා උස්සන්ගොඩට කිසියම් අද්‍රෘෂ්‍යමාන බලයක් ඇති බවට විශ්වාසයක් පවතී.
උස්සන්ගොඩ රජ මාලිගයක් ඉදි කොට තිබී ඇත. එය මානාභරණ නැමති රජතුමාට අයත් වූවකි. මහ මුහුද විසින් බිලි ගනුලැබ ඇති ”පරෙයිගල” නැමැති ස්ථානයේ එම රජ මාලිගය ඉදි කොට තිබුණි. එහි ගල් කණු ආදී නටඹුන් තිබී ඇති අතර ඒවා දැනට මුහුද බත් වී ඇත.
      පරෙයිගල පිහිටි එම රජ මාලිගයේ සිටි මානාභරණ රජතුමා යුද්ධයකට ගොස් ඇත. තමා ජයග‍්‍රහණය කළහොත් සුදු කොඩියක් ද, මිය ගිය හොත් කළු කොඩියක් ද රාජ පුරුෂයින් විසින් රැුගෙන එනු ලැබ ඇති බව රජු සිය භාර්යාවන් සත් දෙනාට පවසා ගොස් තිබේ. අනතුරුව යුද්ධය ජයග‍්‍රහණය කොට පැමිණෙන රජු සිය භාර්යාවන්ට විහිළුවක් කිරීමට සිතා තමා මිය ගිය බව හඟවමින් කළු කොඩියක් ඔසවා ගෙන යාමට අණ කොට ඇත.

      ඒ බව දුටු භාර්යාවන් සත් දෙනා උස්සන්ගොඩ අසලින් මුහුදට වැටුණු වලවේ ගෙඟ් අතුගංගාවක් වන ”කොටි ආර” නැමති ඇළ දිගේ ඉහළට ගමන් කොට සිය දිවි නසා ගත්හයි ජනප‍්‍රවාදයක වෙයි. (මෙවැනි ජනප‍්‍රවාද දිවයිනේ ස්ථාන ගණනාවකම වෙයි)

     භාර්යාවන් සත් දෙනා ආභරණ ආදිය ගලවා තබා ගඟට පැන්න ස්ථානය අද ”ආභරණ ඇල්ල” ලෙස හඳුන්වයි. එහෙත් එක් බිසවකගේ පණ බේරා ගැනීමට එම ප‍්‍රදේශයේ සිටි රොඞී කුලයේ පුද්ගලයකුට හැකි වී ඇත. ජල පහරට ගසාගෙන යන රජ බිසවක් වෙත කුල්ලක් දමා ඇය ගේ දිවි බේරා ගැනීමට එම පුද්ගලයා සමත් විය. පසුව එම රජ බිසව ඔහුගේ බිරිය බවට පත් කර ගැනුණි. උස්සන්ගොඩට නුදුරු ”රොඞී මෑල්ල” ට එම නම ව්‍යවහාර වන්නේ ඉහත කී ජනප‍්‍රවාදය නිසායැයිද පැවසේ.

      උස්සන්ගොඩ බිමෙහි ඇත්තේ තද රතු පැහැති පස් ස්ථරයකි. එය හෙක්ටයාර් ගණනාවක් පුරා පැතිර පවතී. උස්සන්ගොඩ පිළිබඳ පර්යේෂණ කරන විද්‍යාඥයන්ගේ අදහස වී ඇත්තේ වසර මිලියන 15 කට පමණ ඉහත දී උල්කාපාතයක් කඩා වැටීම නිසා මෙම සුවිශේෂී භූමිය නිර්මාණය වී ඇති බවකි. පිළිස්සීම නිසා රතු පැහැ වූ පස ද උණු වූ පාෂාණ ද ඒ සඳහා සාක්‍ෂි සපයයි. උස්සන්ගොඩ පිහිටි රතු පස් මත තැනින් තැන උණු වූ යකඩ නොහොත් පාෂාණ විශේෂයක් දැක ගත හැකිය. ඒවා ඉතා බරැුතිය. ගිනි කන්දකින් පිටාර ගලා නිසොල්මනේ සිටින ලාවා වැනිය. පස පිළිබඳ පර්යේෂණ පවත්වන විශේෂඥයන්ගේ අවධානය ඒ කෙරේ යොමු වූයේ රතු පස්, සුවිශේෂී පාෂාණ නිසාය.

       රතු පස් නිසාමදෝ මෙහි ශාක නොවැඬේ මෙම භූමිය පුරා පිහිටි කටු වන ලැහැබ කතරක පිහිටි ක්‍ෂෙම භූමියක අසිරිය ගනියි. මෙම අපූරු භූමියෙහි ශාක පැළවන්නේ නැත. නමුත් සුළඟ ආදියෙන් එම සුවිශේෂී රතු පස් මත වෙනත් පස් ස්ථර තැන්පත්වීමෙන් කළමැටිය අභය භූමියේ ඇති කරඹ, පතොක්, එරමිණියා ආදී ශාඛ ශුෂ්ක පරිසරයට ඔරොත්තු දී සිටින ඒවා තැනින් තැන වන ලැහැබක් සේ විටෙක දිස්වෙයි. උස්සන්ගොඩ එක් අර්ධයක් කෙළවර වන්නේ මහ සයුරෙන්ය. එය ඉතා ශීඝ‍්‍ර ලෙස මුහුදු රකුසාට බිලිවන ප‍්‍රදේශයකි.

       ඉතිහාසයේ සිදුවීම් රැසකට මෙන්ම ජනප‍්‍රවාද රැසකට ම තෝතැන්නක් වූ උස්සන්ගොඩ අද ලෝක උරුමයක් වැනිය.




උස්සන්ගොඩ රතු පැහැති පාෂාණ






       



0 comments:

Post a Comment